හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදුයි කියන කතාව මම ඇහුවෙ පුංචිම කාලෙ. ඒත් පුංචි කාලෙ ඉඳන්ම හවස් වරුව මුහුදු වෙරළෙ ගතකරන මට ඉර බැහැගෙන යන දර්ශනය වත්, මුහුදු වෙරළ වත් ඒ විදිහට පෙනුනෙ නෑ. වැල්ලෙ ගලක් උඩ වාඩි වෙලා මුහුද දිහා බලන් ඉඳීම ඇතුලෙ හැමදාම මට දැනුනෙ නැවුම් ගතියක්.
සුපුරුදු ආසනේට ටිකක් විතර දුරින් වාඩිවෙලා හිටි තැනැත්තිව අඳුරගන්න තරමට එළියක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ. ඒත් මේ පැත්තෙ කෙනෙක් නොවන විත්තිය නම් ස්ථීරව කියන්න පුළුවන් කමක් තිබුන. මේ කරුවල වැටෙන වෙලාවෙ වැල්ලට වෙලා මොනා කරනවද, මට මුලින්ම ඇතුවුන ප්‍රශ්නෙ ඒක. එතනින් එහාට එකින් එක ප්‍රශ්න පත්තරයකටම මම උත්තර ලිව්ව. එහෙමත් නැත්තන් උත්තර ලියන්න උත්සහ කලා. ඒ උත්තර හරිද වැරදිද බලන්න තදබල උවමනාවක් ඇති වුනේ නෑ.
ඉර සම්පූර්ණයෙන්ම මුහුදෙ ගිලිලත් සෑහෙන වෙලාවක් වුනා. නන්නාඳුනන්නිය තවමත් කලින් හිටපු විදිහටම බලාගත්තු අත බලන් හිටිය. නන්නාඳුනන්නි ළඟට ගිහින් කතාකරන්න තීරණය කලේ එකපාරටම ඇතිවුන සිතුවිල්ලකට භයවුන හින්දද?. ඒ සිතුවිල්ල විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් ඇතිනොවුනෙ ඒ වෙනකොටත් හිරිගඩු පිපිල හීන් දාඩියක් දාල තිබුන නිසා.
ඉර සම්පූර්ණයෙන්ම මුහුදෙ ගිලිලත් සෑහෙන වෙලාවක් වුනා. නන්නාඳුනන්නිය තවමත් කලින් හිටපු විදිහටම බලාගත්තු අත බලන් හිටිය. නන්නාඳුනන්නි ළඟට ගිහින් කතාකරන්න තීරණය කලේ එකපාරටම ඇතිවුන සිතුවිල්ලකට භයවුන හින්දද?. ඒ සිතුවිල්ල විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් ඇතිනොවුනෙ ඒ වෙනකොටත් හිරිගඩු පිපිල හීන් දාඩියක් දාල තිබුන නිසා.
"මුහුදෙ පනින්නද කල්පනා කරන්නෙ ?."
"මොකටද මුහුදෙ පනින්නෙ. මම පිස්සියෙක් කියල හිතුවද ?."
"එහෙම වෙන්න බැරිකමක් නෑනෙ."
"යනවද යන දිල්ලියක, මට පාඩුවෙ ඉන්න දීල ?."
"ඔච්චර කේන්ති ගත්තොත් ඉක්මනට වයසට යයි"කොහේදෝ තැනක ඉඳන් ආපු විදුලි ලාම්පු එළියක් නන්නාඳුනන්නියගෙ හිනාව හැංඟීමේ උත්සාහය පරාද කරල දැම්ම. ඒ හිනාව දිහා මම බලන් හිටියෙ දකින්න ආසාවෙන් හිටපු දෙයක් දිහා බලන් ඉන්නව වගේ. ටිකෙන් ටික වැඩි වුන හිනාව ඒ වේගෙන්ම අඩුවෙලා, නැතිවෙලා ගියා. ආපහු වතාවක් අනිමිසලෝචන පූජාව. නිශ්ෂබ්දතාවයට ඉඩ දීල මමත් ඒ ළඟම තිබුන ගලක් උඩින් වාඩි වුනා. ආපහු සැරයක් කතාව පටන්ගත්තෙ එයාමයි.
"අපි මේ වෙද්දිත් වයසට ගිහින් අසේල."
"ඔව්. ඒක එහෙම තමයි."
"..................................."
"මේ පාර දිගටම නතර වෙනවද?"
"නතරවෙන්න හදපු හැම වෙලාවකම ඔයාම නේද යන්න කිව්වෙ. දැන් මට නතරවෙන්න බෑ"
"ඒක ඇනුම්පදයක්ද?"
"නැහැ. මම කිව්වෙ සිද්ධවුන දේ. මම හිතන්නෙ ඒ තමයි වෙන්න තිබුන හොඳම විදිහත්."
"මමත් තවම එහෙම හිතනව"
"අපි යමුද?"
එතන ඉඳන් අපි අතරෙ කතාවක් ඇතිවුනේ නෑ. ආපහු කතාවක් ඇතිවුනේ වෙන්වෙන්න නියමිත වෙලා තිබුන තැනදි.
"කීප වතාවක්ම එකතු වෙවී, වෙන් වෙවී ආපු ගමනක අවසානය."
"ඒ කියන්නෙ අපි ආපහු මුණ ගැහෙන්නෙ නෑ"
"නැහැ අසේල. තවත් වතාවක් නෑ."
අන්තිම මොහොතෙ දකින්න ලැබුනෙ මම දැනන් හිටපු තැනැත්තිගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් හැසිරීමට වඩා සෑහෙන වෙනස් හැසිරීමක්. ගෙදරට එනකම්ම හිතේ හොල්මන් කලේ ඒ හැසිරීම. ගෙට ගොඩ වෙනකොටම ගෙදර හුරතලා දුවන් ආවෙ කතාවකට කට උල් කරගෙන.
"ලොකු සීයගෙ යාළු ආච්චි මැරිල."