Wednesday, February 22, 2012

නන්නාඳුනන්නිය

හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදුයි කියන කතාව මම ඇහුවෙ පුංචිම කාලෙ. ඒත් ‍පුංචි කාලෙ ඉඳන්ම හවස් වරුව මුහුදු වෙරළෙ ගතකරන මට ඉර බැහැගෙන යන දර්ශනය වත්, මුහුදු වෙරළ වත් ඒ විදිහට පෙනුනෙ නෑ. වැල්ලෙ ගලක් උඩ වාඩි වෙලා මුහුද දිහා බලන් ඉඳීම ඇතුලෙ හැමදාම මට දැනුනෙ නැවුම් ගතියක්.

සුපුරුදු ආස‍නේට ටිකක් විතර දුරින් වාඩිවෙලා හිටි තැනැත්තිව අඳුරගන්න තරමට එළියක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ. ඒත් මේ පැත්තෙ කෙනෙක් නොවන විත්තිය නම් ස්ථීරව කියන්න පුළුවන් කමක් තිබුන. මේ කරුවල වැටෙන වෙලාවෙ වැල්ලට වෙලා මොනා කරනවද, මට මුලින්ම ඇතුවු‍න ප්‍රශ්නෙ ඒක. එතනින් එහාට එකින් එක ප්‍රශ්න පත්තරයකටම මම උත්තර ලිව්ව. එහෙමත් නැත්තන් උත්තර ලියන්න උත්සහ කලා.   ඒ උත්තර හරිද වැරදිද බලන්න තදබල උවමනාවක් ඇති වුනේ නෑ. 

ර සම්පූර්ණයෙන්ම මුහුදෙ ගිලිලත් සෑහෙන වෙලාවක් වුනා. නන්නාඳුනන්නිය තවමත් කලින් හිටපු විදිහටම බලාගත්තු අත බලන් හිටිය. නන්නාඳුනන්නි ළඟට ගිහින් කතාකරන්න තීරණය කලේ එකපාරටම ඇතිවුන   සිතුවිල්ලකට භයවුන හින්දද?. ඒ සිතුවිල්ල විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් ඇතිනොවුනෙ ඒ වෙනකොටත් හිරිගඩු පිපිල හීන් දාඩියක් දාල තිබුන නිසා.
"මුහුදෙ පනින්නද කල්පනා කරන්නෙ ?."
"මොකටද මු‍හුදෙ පනින්නෙ. මම පිස්සියෙක් කියල හිතුවද ?."
"එහෙම වෙන්න බැරිකමක් නෑනෙ."
"යනවද යන දිල්ලියක, මට පාඩුවෙ ඉන්න දීල ?."
"ඔච්චර කේන්ති ගත්තොත් ඉක්මනට වයසට යයි"
කොහේදෝ තැනක ඉඳන් ආපු විදුලි ලාම්පු එළියක් නන්නාඳුනන්නියගෙ හිනාව හැංඟීමේ උත්සාහය පරාද කරල දැම්ම. ඒ හිනාව දිහා මම බලන් හිටියෙ දකින්න ආසාවෙන් හිටපු දෙයක් දිහා බලන් ඉන්නව වගේ. ටිකෙන් ටික වැඩි වුන හිනාව ඒ වේගෙන්ම අඩුවෙලා, නැතිවෙලා ගියා. ආපහු වතාවක් අනිමිසලෝචන පූජාව. නිශ්ෂබ්දතාවයට ඉඩ දීල මමත් ඒ ළඟම තිබුන ගලක් උඩින් වාඩි වුනා. ආපහු සැරයක් කතාව පටන්ගත්තෙ එයාමයි. 
"අපි මේ වෙද්දිත් වයසට ගිහින් අසේල."
"ඔව්. ඒක එහෙම තමයි."
"..................................."
"මේ පාර දිගටම නතර වෙනවද?"
"නතරවෙන්න හදපු හැම වෙලාවකම ඔයාම නේද යන්න කිව්වෙ. දැන් මට නතරවෙන්න බෑ"
"ඒක ඇනුම්පදයක්ද?"
"නැහැ. මම කිව්වෙ සිද්ධවුන දේ. මම හිතන්නෙ ඒ තමයි වෙන්න තිබුන හොඳම විදිහත්."
"මමත් තවම ‍එහෙම හිතනව"
"අපි යමුද?"

එතන ඉඳන් අපි අතරෙ කතාවක් ඇතිවුනේ නෑ. ආපහු කතාවක් ඇතිවුනේ වෙන්වෙන්න නියමිත වෙලා තිබුන තැනදි.
"කීප වතාවක්ම එකතු වෙවී, වෙන් වෙවී ආපු ගමනක අවසානය."
"ඒ කියන්නෙ අපි ආපහු මුණ ගැහෙන්නෙ නෑ"
"නැහැ අසේල. තවත් වතාවක් නෑ." 
අන්තිම මොහොතෙ දකින්න ලැබුනෙ මම දැනන් හිටපු තැනැත්තිගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්  හැසිරීමට වඩා සෑහෙන වෙනස් හැසිරීමක්. ගෙදරට එනකම්ම හිතේ හොල්මන් කලේ ඒ හැසිරීම. ගෙට ගොඩ වෙනකොටම ගෙදර හුරතලා දුවන් ආවෙ කතාවකට කට උල් කරගෙන.

"ලොකු සීයගෙ යාළු ආච්චි මැරිල."

Monday, February 6, 2012

අන්තිම දවස

එදත් වෙනද වගේම දවසක්. වෙනසකට තිබුන නම් තිබුනෙ උදේ නැගිටින වෙලාව වෙනස් වීම විතරයි. පුරුදු විදිහට නාලිනී එදත් විනාඩි දහයක් පහළවක් පරක්කුයි. එයා පරක්කු වෙන හැම දවසකම අනිත් දවසෙ එනකම් බලන්‍ ඉන්නෙ නෑ කියල කිව්වට ඒක වචනෙට විතරක් සීමා වුනේ ඇයි කියන එක අද වෙද්දි ප්‍රශ්නයක්. එදා නම් ඒකට උත්තරයක් තියෙන්න ඇති. වෙනද වගේම ඈත ඉදන්ම හිනාවේගෙන ආපු නාලිනී ඒ වෙනකං හිතේ තිබුන කේන්තිය නැති කරන්න තරම් දක්ෂ කෙල්ලෙක් වුනා.

සීයට සීයක් වෙලාවට වැඩකරන පුද්ගලයෙක් නොවුනට වැඩට යන එක වෙලාවට කරන්න මට තිබුනෙ පුදුම උවමනාවක්. ඒත් වෙනද වගේම බස් එකේදි නාලිනීට ඕන වුනේ ඔහේ බස් එකෙන් බස් එකට මාරු වෙවී රවුම් ගහන්න. මම හිතන්නෙ එයාගෙ ඔලුව වැඩ කලේ ලෝකෙ තියෙන එකම වැඩේ ආදරේ කරන එක විතරයි කියල නීතියකට යටත් වෙලා. ඒත් ඒ වගේ මානසිකත්වයක් නොතිබුන මට ඕන වුනේ එයාව පන්තියට ඇරලල වැඩට යන්න. මත ගැටුමක්. එයා බස් එක ඇතුලෙම අඬන්නයි කියවන්නයි ගත්තෙ මීට කලින් දෙතුන් වතාවක සිද්ධ වුන විදිහටමයි. ඒ වෙලාවෙ හිතට ආවෙ කේන්තියක්ද, දුකක්ද, පිළිකුළක් ද කියන්න තේරුමක් එදා වුනත් තිබුනෙ නෑ. 

බස් එකෙන් බහින්න ඕන තැන කිට්ටු වෙද්දි හිතට එකඟව තීරණයක් ගන්න පුළුවන් කම ලැබිල තිබුන. 
"අපේ සම්බන්දෙ මේ විදිහට කන්ටිනිව් කරන්න බෑ. මේ සම්බන්දෙ ඉවරයි."
කියල ඉවර වෙද්දි එයා බලන් හිටියෙ පුදුම වෙලා. ඇහුන දේ විස්වාස නැතුව වගේ. සමහර විට කිසිම කේන්ති ගතියක් ඒ වචන වල එතිල නොතිබුන නිසා වෙන්න ඇති. 

ඊළඟ නැවතුමේදි බස් එකෙන් බැස්සෙ රස්සාවට යන්න පරක්කු වුන පුද්ගලයෙක් මිසක් තමන්ගෙ ප්‍රේම සම්බන්දය නතර කරපු කොල්ලෙක් නම් නෙමෙයි. බස් එක ඇතුලෙ ඉඳන් පුදුම වුන ඇස් දෙකක් තමන් දිහා බලන් ඉන්න විත්තිය දැක්කත් ඊ‍ට වඩා වැදගත් දේවල් ඒ වෙද්දි ඒ කොල්ලගෙ හිතේ තිබුන.


Sunday, January 15, 2012

තවත් එක් ඇරඹුමක්

අලුතෙන් බ්ලොග් එකක් පටන්ගන්න හිතුව මෙච්චර කල් කරපුව දැකපුව අකුරු වලට හරවන්න හිතාගෙන. හැම ඇරඹුමකටම අවසානයක් තියෙන නිසා මේකත් කොයි මොහොතෙ නතර වෙයිද කියන්න නම් දන්නෙ නෑ. පටන් ගනිද්දිම නතර වෙන කතාවක් කියල අසුභවාදී විදිහට බලනව නෙමෙයි වුනත් ඕනම වෙලාවක නතර‍ වෙන්න බලාගෙන ඉන්න එක දැන් පුරුද්දකට ගිහින්.

මේ මේ දේවල් ලියනව කියල මාතෘකා කරන්න බැරිවුනත් මූලිකවම ලියන්න හිතාගෙන ඉන්නෙ මම කල ගොන් වැඩ. සමහර සිද්දි. හිතට එන කතන්දර වගේ දේවල්.

ඉතිං අවසරයි තවත් එක ආරම්භයකට.