Wednesday, February 22, 2012

නන්නාඳුනන්නිය

හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදුයි කියන කතාව මම ඇහුවෙ පුංචිම කාලෙ. ඒත් ‍පුංචි කාලෙ ඉඳන්ම හවස් වරුව මුහුදු වෙරළෙ ගතකරන මට ඉර බැහැගෙන යන දර්ශනය වත්, මුහුදු වෙරළ වත් ඒ විදිහට පෙනුනෙ නෑ. වැල්ලෙ ගලක් උඩ වාඩි වෙලා මුහුද දිහා බලන් ඉඳීම ඇතුලෙ හැමදාම මට දැනුනෙ නැවුම් ගතියක්.

සුපුරුදු ආස‍නේට ටිකක් විතර දුරින් වාඩිවෙලා හිටි තැනැත්තිව අඳුරගන්න තරමට එළියක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ. ඒත් මේ පැත්තෙ කෙනෙක් නොවන විත්තිය නම් ස්ථීරව කියන්න පුළුවන් කමක් තිබුන. මේ කරුවල වැටෙන වෙලාවෙ වැල්ලට වෙලා මොනා කරනවද, මට මුලින්ම ඇතුවු‍න ප්‍රශ්නෙ ඒක. එතනින් එහාට එකින් එක ප්‍රශ්න පත්තරයකටම මම උත්තර ලිව්ව. එහෙමත් නැත්තන් උත්තර ලියන්න උත්සහ කලා.   ඒ උත්තර හරිද වැරදිද බලන්න තදබල උවමනාවක් ඇති වුනේ නෑ. 

ර සම්පූර්ණයෙන්ම මුහුදෙ ගිලිලත් සෑහෙන වෙලාවක් වුනා. නන්නාඳුනන්නිය තවමත් කලින් හිටපු විදිහටම බලාගත්තු අත බලන් හිටිය. නන්නාඳුනන්නි ළඟට ගිහින් කතාකරන්න තීරණය කලේ එකපාරටම ඇතිවුන   සිතුවිල්ලකට භයවුන හින්දද?. ඒ සිතුවිල්ල විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් ඇතිනොවුනෙ ඒ වෙනකොටත් හිරිගඩු පිපිල හීන් දාඩියක් දාල තිබුන නිසා.
"මුහුදෙ පනින්නද කල්පනා කරන්නෙ ?."
"මොකටද මු‍හුදෙ පනින්නෙ. මම පිස්සියෙක් කියල හිතුවද ?."
"එහෙම වෙන්න බැරිකමක් නෑනෙ."
"යනවද යන දිල්ලියක, මට පාඩුවෙ ඉන්න දීල ?."
"ඔච්චර කේන්ති ගත්තොත් ඉක්මනට වයසට යයි"
කොහේදෝ තැනක ඉඳන් ආපු විදුලි ලාම්පු එළියක් නන්නාඳුනන්නියගෙ හිනාව හැංඟීමේ උත්සාහය පරාද කරල දැම්ම. ඒ හිනාව දිහා මම බලන් හිටියෙ දකින්න ආසාවෙන් හිටපු දෙයක් දිහා බලන් ඉන්නව වගේ. ටිකෙන් ටික වැඩි වුන හිනාව ඒ වේගෙන්ම අඩුවෙලා, නැතිවෙලා ගියා. ආපහු වතාවක් අනිමිසලෝචන පූජාව. නිශ්ෂබ්දතාවයට ඉඩ දීල මමත් ඒ ළඟම තිබුන ගලක් උඩින් වාඩි වුනා. ආපහු සැරයක් කතාව පටන්ගත්තෙ එයාමයි. 
"අපි මේ වෙද්දිත් වයසට ගිහින් අසේල."
"ඔව්. ඒක එහෙම තමයි."
"..................................."
"මේ පාර දිගටම නතර වෙනවද?"
"නතරවෙන්න හදපු හැම වෙලාවකම ඔයාම නේද යන්න කිව්වෙ. දැන් මට නතරවෙන්න බෑ"
"ඒක ඇනුම්පදයක්ද?"
"නැහැ. මම කිව්වෙ සිද්ධවුන දේ. මම හිතන්නෙ ඒ තමයි වෙන්න තිබුන හොඳම විදිහත්."
"මමත් තවම ‍එහෙම හිතනව"
"අපි යමුද?"

එතන ඉඳන් අපි අතරෙ කතාවක් ඇතිවුනේ නෑ. ආපහු කතාවක් ඇතිවුනේ වෙන්වෙන්න නියමිත වෙලා තිබුන තැනදි.
"කීප වතාවක්ම එකතු වෙවී, වෙන් වෙවී ආපු ගමනක අවසානය."
"ඒ කියන්නෙ අපි ආපහු මුණ ගැහෙන්නෙ නෑ"
"නැහැ අසේල. තවත් වතාවක් නෑ." 
අන්තිම මොහොතෙ දකින්න ලැබුනෙ මම දැනන් හිටපු තැනැත්තිගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්  හැසිරීමට වඩා සෑහෙන වෙනස් හැසිරීමක්. ගෙදරට එනකම්ම හිතේ හොල්මන් කලේ ඒ හැසිරීම. ගෙට ගොඩ වෙනකොටම ගෙදර හුරතලා දුවන් ආවෙ කතාවකට කට උල් කරගෙන.

"ලොකු සීයගෙ යාළු ආච්චි මැරිල."

13 comments:

  1. මාත් ආව සහෝ ඔයාගේ පැත්තට... කතාව නිවාඩුව කියවන්නම් හොඳේ...

    ReplyDelete
    Replies
    1. හොඳයි එහෙමනං :ඩී

      Delete
  2. නන්නාදුනන්නිය අසේලගේ නමත් දන්නවා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. දෙබස් වලින් ඒ තැනැත්තිය නන්නාදුනන්නියක් නෙමෙයි කියන එක පෙන්නල තිබුනත් පස්සෙ තැනකත් ඒක පාවිච්චි වෙලා තියෙන එකෙන් වැඩේ වැරදුනා.

      කතාවට මුලින්ම දීල තිබුන නම අන්තිම මොහොතෙ වෙනස් කරපු එකෙන් ආයිත් වරද්දගෙන.

      ස්තූතියි වැරදි පෙන්නල දුන්නට.

      Delete
  3. දිනේශ් අයිය පෙන්නල දුන්න තැන ඇරෙන්න උත්සාහය සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. උත්සහ කරනව ඊළඟ පාර ඒ වගේ අඩුපාඩු වෙන එක මගඇරගන්න

      Delete
  4. මාර සිද්ධීය මම මේක වින්දෙ වෙනස් විදයකට .
    මුළදි වර්ථමානය ගැන කියවෙනවා කියලා හිතුනා. ඒකියන්නේ නන්නාදුනන්නිය ඇත්තටම ආධුනික චරිතයක්.
    ඊට පස්සේ "නිශ්ෂබ්දතාවයට ඉඩ දීල මමත් ඒ ළඟම තිබුන ගලක් උඩින් වාඩි වුනා." කියන තැනින් පස්සේ අතීත මතකයක් ගැන කියවෙනවා වගේ දැණුනා.
    "අන්තිම මොහොතෙ දකින්න ලැබුනෙ මම දැනන් හිටපු තැනැත්තිගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් හැසිරීමට වඩා සෑහෙන වෙනස් හැසිරීමක්. "
    එතැනින් ඒක වර්ථමානයට ආපහු එනවා.
    "ගෙදරට එනකම්ම හිතේ හොල්මන් කලේ ඒ හැසිරීම." ඒ කියන්නේ අතීත කල්පනාව ඒ තරම් ප්‍රභලව තිබිලා තියෙනවා. ඔහුට නන්නාදුනන්නියව සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින්.සමහර විට කෙල්ල උඹ වාඩිවුන හන්දා එතැනින් ගියා වෙන්නත් පුවවන්.ඊට පස්සෙ නැවත වර්ථමානය :)

    දෙකෙන් කොයි විදියට හිතුවත් මට මේ උඹේ ජීවිත කතාව අල්ලලා යයි වගේ. හැබැයි මම හිතනවා ඒක ටිකක් අමුතුයි කියලා..

    දිගටම කතාව ලියපන්. මුලදි කට්ටිය අඩු වුනාට පස්සෙ හිමීට සෙට් වෙනවා. එතකන් ඇදන් යමු. :-)

    ReplyDelete
    Replies
    1. කතාව දැකපු විදිහ ගැන කරල තියෙන විස්තරේ දැක්කහම පැහැදිලි කිරීමක් දෙන්න ලෝබයි. :)

      කට්ටිය ගැන කි‍යල තියෙන එක හරි. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඔලුවෙ තියෙන විකාර දන්න අඳුනන උදවියට කියන්න අකමැති කමට ලියන එකක් මේක.

      Delete
  5. ඔන්න මමත් ආවා :)

    ReplyDelete
  6. මාත් ආපි.......
    කතාව ලස්සනයි......, දිනේෂ් අයියා කියපු වැරදි හදාගෙන දිගටම ලියන්න. ජයවේවා.

    ReplyDelete
  7. Replies
    1. බ්ලොග් එකක් තියෙනව කියල අමතක වුනා :)

      Delete
  8. ආසාවෙන් කියෙව්ව....ඇත්තමයි....දිගටම එන්නම්..
    ජය...!!

    ReplyDelete