Monday, February 6, 2012

අන්තිම දවස

එදත් වෙනද වගේම දවසක්. වෙනසකට තිබුන නම් තිබුනෙ උදේ නැගිටින වෙලාව වෙනස් වීම විතරයි. පුරුදු විදිහට නාලිනී එදත් විනාඩි දහයක් පහළවක් පරක්කුයි. එයා පරක්කු වෙන හැම දවසකම අනිත් දවසෙ එනකම් බලන්‍ ඉන්නෙ නෑ කියල කිව්වට ඒක වචනෙට විතරක් සීමා වුනේ ඇයි කියන එක අද වෙද්දි ප්‍රශ්නයක්. එදා නම් ඒකට උත්තරයක් තියෙන්න ඇති. වෙනද වගේම ඈත ඉදන්ම හිනාවේගෙන ආපු නාලිනී ඒ වෙනකං හිතේ තිබුන කේන්තිය නැති කරන්න තරම් දක්ෂ කෙල්ලෙක් වුනා.

සීයට සීයක් වෙලාවට වැඩකරන පුද්ගලයෙක් නොවුනට වැඩට යන එක වෙලාවට කරන්න මට තිබුනෙ පුදුම උවමනාවක්. ඒත් වෙනද වගේම බස් එකේදි නාලිනීට ඕන වුනේ ඔහේ බස් එකෙන් බස් එකට මාරු වෙවී රවුම් ගහන්න. මම හිතන්නෙ එයාගෙ ඔලුව වැඩ කලේ ලෝකෙ තියෙන එකම වැඩේ ආදරේ කරන එක විතරයි කියල නීතියකට යටත් වෙලා. ඒත් ඒ වගේ මානසිකත්වයක් නොතිබුන මට ඕන වුනේ එයාව පන්තියට ඇරලල වැඩට යන්න. මත ගැටුමක්. එයා බස් එක ඇතුලෙම අඬන්නයි කියවන්නයි ගත්තෙ මීට කලින් දෙතුන් වතාවක සිද්ධ වුන විදිහටමයි. ඒ වෙලාවෙ හිතට ආවෙ කේන්තියක්ද, දුකක්ද, පිළිකුළක් ද කියන්න තේරුමක් එදා වුනත් තිබුනෙ නෑ. 

බස් එකෙන් බහින්න ඕන තැන කිට්ටු වෙද්දි හිතට එකඟව තීරණයක් ගන්න පුළුවන් කම ලැබිල තිබුන. 
"අපේ සම්බන්දෙ මේ විදිහට කන්ටිනිව් කරන්න බෑ. මේ සම්බන්දෙ ඉවරයි."
කියල ඉවර වෙද්දි එයා බලන් හිටියෙ පුදුම වෙලා. ඇහුන දේ විස්වාස නැතුව වගේ. සමහර විට කිසිම කේන්ති ගතියක් ඒ වචන වල එතිල නොතිබුන නිසා වෙන්න ඇති. 

ඊළඟ නැවතුමේදි බස් එකෙන් බැස්සෙ රස්සාවට යන්න පරක්කු වුන පුද්ගලයෙක් මිසක් තමන්ගෙ ප්‍රේම සම්බන්දය නතර කරපු කොල්ලෙක් නම් නෙමෙයි. බස් එක ඇතුලෙ ඉඳන් පුදුම වුන ඇස් දෙකක් තමන් දිහා බලන් ඉන්න විත්තිය දැක්කත් ඊ‍ට වඩා වැදගත් දේවල් ඒ වෙද්දි ඒ කොල්ලගෙ හිතේ තිබුන.


6 comments:

  1. කෙටි උනත් අන්තිමේ කතාව මාරම විදිහට හිතට දැනුනා.. දන්නේ නෑ ඇයි කියලා..

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් නෙමෙයි දිනේෂ්. මගේ ජීවිතේ තවත් එක සිදුවීමක් විතරයි.

      Delete
  2. හොඳ ප්‍රවේශයක්...දිගට ලියන්න සහෝ...

    ReplyDelete
  3. ලියන විදියෙ රසවත් බවක් තියෙනවා.. දිගටම ලියමු.

    හැබැයි අවංකවම කියන්නම් දෙයක්.. රස්සාව හැමදේටම වඩා ඉහළින් තියා ගන්න ගියොත් ජීවිතේ විදින්න බැරිවෙනවා.විදවන්න තමයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මම හැමදේකටම වඩා උඩින් තියල තියෙන්නෙ මගේ නිදහස. ඊට පස්සෙ සතුට. රස්සාව කියන එක තියෙන්නෙ මැද හරියක. සතියක් තිස්සෙ රවුම් ගහල (වැඩට නොයා) ඊළඟ සතියෙ තමයි ඔහොම වුනේ :)

      ස්තූතියි අදහස් දැක්වුවට.

      Delete